කොවිඩ් නිවස තුළට පැමිණ අවසන් – වෛද්‍ය හරිත අළුත්ගේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 පැතිරීම මෙන්ම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් රට තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ කෝවිඩ් මරණ 11 ක් වාර්තා වී තිබීම භයානක තත්වයක් බවයි.

වෛද්‍ය හරිත අළුත්ගේ මහතා වැඩිදුර අදහස් දක්වමින්,

“රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ පළමු අවස්ථාවේ මාස 9ටම මරණ සිදුවූයේ 13ක්. නමුත් මේ අවස්ථාවේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මරණ 11ක් වාර්තා වී තිබෙනවා. මේ මරණයට පත්වුණු සමහර අය කොවිඩ් රෝගීන් කියලා අපි දැනගන්නේ මරණ පරීක්ෂණයේ දි. ඒ කියන්නේ සමහර අය ගෙවල්වලදි තමයි මරණයට පත්වෙලා තියෙන්නේ.

මේක අපේ විශේෂ අවධානයට ලක්විය යුතු දෙයක්. අපිට ප්‍රායෝගිකව පේන්න තියෙන දේ තමයි මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට මීට වඩා වැඩියෙන් කතා කරන්න වෙයි. සමහර අයගෙ, PCR මුල් පරීක්ෂණයේදී නෙගටිව්වෙලා තිබ්ච්ච අයගෙ තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නෙ.

මේ මරණ ඔස්සේ ඉතා පැහැදිළිව පේන්නේ PCR පරීක්ෂණ නැවත නැවත සිදුකිරීමට ඇති අවශ්‍යතාවය. වයසක අය තමයි ගොඩක් මේ ගෙවල්වල මරණයට පත්වෙලා තිබුණේ. ඒකෙන් පැහැදිළි වන දේ තමයි සමාජයට ගිහින් නෙමෙයි ඒ අයට බෝ වුණේ. වෛරසය ගෙදරට ඇවිල්ලා. අවදානම් කණ්ඩායම් රැකබලා ගැනීමට ජනතාවට ලොකු වගකීමක් තියෙනවා.”


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.