රට යථා තත්ත්වයට පත් කිරීමට එල්පීඑල් කොල එළියක්

රට යථා තත්ත්වයට පත් කිරීමට එල්පීඑල් කොල එළියක්

මේ මාසයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරඟාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් -19 කාර්ය සාධක බලකාය විසින් ‘කොල එළිය’ ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

මේ බව පවසමින් ට්විටර් සටහනක් මගින් ක්‍රීඩා අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පුද කරන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ‘නව සාමාන්‍යයට’ අනුවර්තනය වී රට යථා තත්ත්වයට පත් කිරීමට රජය දක්වන කැපවීම මෙයින් පෙන්නුම් කරන බව පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂ රවින් විකරමරත්න යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිවරයා හමුවූ බව වාර්තා වනවා.

මෙම හමුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබෙනවා.

මෙම තරගාවලියට සහභාගී වීම සඳහා විදේශයන්හි සිට පැමිණෙන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුර මාර්ගෝපදේශ නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය 2020 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 13 දක්වා මහනුවර පල්ල‍ෙකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙකෙහි පැවැත්වීමට නියමිතයි.

ශූරතාවය සඳහා දින 15 ක කාලයක් තුළ තරඟ 23 ක් පැවැත්වීමට නියමිතයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.