පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ 20 වනදා සිට වැඩ ආරම්ඹයි

පෑලියගොඩ නව මැනින් වෙළඳපොළේ මෙහෙයුම් කටයුතු 20 වනදා ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වෙළඳපොලේ කටයුතු දියත් කරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර මහතා පැවසුවේ.

එදින වෙළඳපොලේ සියලුම අංශ ආවරණය වන පරිදි සීමිත වෙළඳුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනීමට පියවර ගන්නා බව ඔහු පැවසුවා.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත වෙනත් වෙළඳුන් වෙළඳපොළට ඇතුළත් කර ගැනීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

පිටකොටුව මැනිං වෙළඳපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් හමුවීම හේතුවෙන් මැනින් වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයට ගෙන යාම කෙරෙහි රජය අවධානය යොමු වුනා.

පෑලියගොඩ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුව අසල අක්කර 13 ක ඉඩමක ඉදිකෙරෙන නව වෙළෙඳ සංකීර්ණයට වෙළඳුන් යොමු කිරීමට රජය මීට පෙර සැලසුම් කර තිබුණා.

මෙම ව්‍යාපෘතිය 2014 දී දියත් කරන ලද අතර මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ අදියර තුනකින් නිම කරමින් පවතිනවා.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 69,000 ක්.

එකවර වාහන 600 ක් පමණ ගාල් කිරීමට ඉඩ ඇති මෙහි වෙළඳසැල් 1191 ක්, අවන්හල්, විවේකාගාර, බැංකු පහසුකම් වලින්ද සමන්විත වනවා.

නව වෙළඳ සංකීර්ණය මගින් තොග වෙළෙඳුන්ට තම වාහනවලින් වෙළඳසැල් වෙත යාමට අවස්ථාව සැලසෙනු ඇති.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.