රාගම පොලිස් ස්ථානාධිපතිටත් කොවිඩ්

රාගම පොලිස් ස්ථානාධිපතිටත් කොවිඩ්

රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම පවසනවා.

ඔහු ඊයේ (05) අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රාගම රෝහලට පැමිණීමෙන් අනතුරුව සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් රාගම පොලිස් ස්ථානයේ නිළධාරීන් දස දෙනෙකු පොලිස් ස්ථානය තුළම නිරෝධායනයට යොමු කර තිබෙනවා. කෙසේ වෙතත්, පොලිසියේ වැඩ කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ ස්ථානාධිපතිවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

තවත් පොලිස් නිලධාරීන් 85 දෙනෙකු ඊයේ කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව කෝවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පැවසුවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ගෙන් 199 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, වත්තල ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් භාණ්ඩ නිපදවන කර්මාන්තශාලාවක තවත් සේවකයින් 57 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් තහවුරු කර තිබෙනවා. එම කර්මාන්තශාලාවේ සේවකයින් 106 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.