මුහම්මද් නබිතුමාගෙන් ඉගෙන ගත් ගුණධර්ම සමාජගත කළ යුතුයි - ජනාධිපති

මුහම්මද් නබිතුමාගෙන් ඉගෙන ගත් ගුණධර්ම සමාජගත කළ යුතුයි – ජනාධිපති

මුහම්මද් නබි (සල්) තුමාගේ චරිතයෙන් උගත් ගුණාංග අන්‍යෝන්‍ය සමෘද්ධිය, විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර සංහිඳියාව සහ පොදු යහපත සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජගත කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිලාද්-උන්-නබි වෙනුවෙන් සිය පණිවුඩයේ සඳහන් කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම්වරු අද ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් සමගින් මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය සමරනු ලබන අතර, මානව වර්ගයා වෙනුවෙන් නබිතුමා කළ කැපකිරීමේ පරමාදර්ශය වඩා හොඳ සහ වඩා දියුණු සමාජයක් සඳහා අඩිතාලම දමන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එකිනෙකා අතර වෛරය හා සැකය දුරු කර මුහම්මද් නබිතුමා දේශනා කළ ගුණාංග සමඟ ජීවත් වන ලෙස ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පෙර නොවූ විරූ දුෂ්කරතා ඇති කරමින් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අද මුළු මිනිස් සංහතියම දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටින බව පවසන ජනාධිපතිතුමා මෙවැනි විපතකදී ආගමික විශ්වාසයන්ට ප්‍රමුඛත්වය දෙමින් ජීවත්වීම සැනසීමක් ගෙන දෙන බවයි පෙන්වා දෙන්නේ.

නබිතුමාගේ උපත ලෝකයම සමරන අද දිනයේ, මුස්ලිම්වරු සියලු ආකාරයේ අන්තවාදයන් පරාජය කිරීමේ අධිෂ්ඨානය සමඟ අත්වැල් බැඳගෙන එතුමන් ප්‍රකාශ කළ සාරධර්මවලට අනුකූලව වඩා හොඳ සමාජයක් බිහි කරනු ඇතැයි ජනාධිපතිතුමා බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් පවසන්න්.

“ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට මෙන්ම ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ට මිලාද්-උන්-නබි සුබ පතමි” ලෙස ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිය පණිවුඩයේ සඳහන් කර සිටිනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.