නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද සිට

නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද සිට

නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය අද සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එක් එක් ආයතනය සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇති බව අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසුවා.

මීට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශවල සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සංසරණය සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා මෙය විශේෂයෙන් අදාළ වනවා.

එසේම, එම දිස්ත්‍රික්කවලට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවදානම් කලාප ලෙස නම් කර නැති වෙනත් දිස්ත්‍රික්කවල පිහිටා ඇති රජයේ ආයතන දැඩි සෞඛ්‍ය රෙගුලාසි යටතේ සුපුරුදු පරිදි පවත්වා ගත යුතුයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සියළුම පහසුකම් සැපයීමට ඔවුන්ගේ විෂය පථයට අදාළව ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව බැඳී සිටින බව ජනාධිපති මාධ්‍ය ඒකකය අවධාරණය කර සිටිනවා.

එසේම, එක් එක් සංවිධානයේ දුරස්ථව කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට වැඩ කිරීමට හැකි සේවකයින් තීරණය කිරීමට ආයතන ප්‍රධානියාට බලය තිබෙනවා.

එම රාජකාරීන්ට අදාළ ලිපිගොනු සහ උපකරණ නිසි අවසරය ඇතිව සේවකයාගේ නිවාස වෙත භාර දිය යුතු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ අනුව රජයේ සේවකයින් උදේ 8.30 සිට සවස 4.15 දක්වා නිවසේ සිට රාජකාරියේ යෙදිය යුතු අතර ඇඳිරි නීතිය පනවා නොමැති අවස්ථාවන්හීදි ආයතනයේ ප්‍රධානියාට අවශ්‍ය පරිදි එය වෙනස් කළ හැකියි.

නිවසේ සිට සිදුකරන වැඩ සැලැස්මේ කොටසක් නොවන සේවකයින්ට අතිරේක මානව සම්පත් අවශ්‍ය ආයතනව වලට අනුයුක්ත කළ හැකියි.

මෙම ක්‍රමය කාර්යක්ෂමව හා සාර්ථකව සිදු කිරීම සඳහා විකල්ප සන්නිවේදන මාර්ග භාවිතා කරන ලෙස අදාළ චක්‍රලේඛය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.